author
Written by:

Kalana Damsara

3 min read

12/21/2020


ඔහුත් ගායකයෙක් හදවතක් පිරිච්ච

author

12/21/2020

|

3 min read


writer's eye

"පීල්ලේ කෝළම ඇත්තටම කෝලමක්. කෝලමක් නෙවෙයි කියලත් කියන්න පුළුවන්. අහන දකින කියන මිනිස්සු අතරේ තියෙන මොකක්ද හැගීම් ගොඩක්, වෙස්මූණකට පණ දෙන්න මේ පීල්ල ලෑස්තියි. කොච්චර දුරක්යයිද කියන්න කෝච්චිය පීල්ලට වැටෙන විදිය අනුව තීරණය කරාවි."

මනුස්සයෙකුගේ සතුට තියෙන්නේ හරි පුදුමාකාර දේවල් වල. අපිට අල්ලන්නවත් බැරි හිතා ගන්නවත් බැරි තැනක. තවෙකෙක්ගෙ සතුටක් නැති කරන්නවත් අපේ සතුටක් වෙන එකෙක්ට බලෙන් දෙන්නවත් අවශ්‍ය නැහැ. ගතානුගතික සංස්කෘතික ජීවිතයට හැඩ ගැහුණු මිනිස්සු ඒකාකාරී අති කාර්යබහුල ජීවන රටාවත් එක්ක තමන්ගේ සතුට වෙනුවෙන් මොනවද කරන්නෙ. චිත්‍රපටයකින් නාට්‍යයකින් හොයාගන්න බැරි වෙච්ච සතුටක් තවත් මිනිහෙක් හොයන්නේ තවත් විදියකට සමහර විට මදු පානයක් එයහෙම නැත්නම් අනියම් ආලිංගිකයෙක්. ලිංගිකත්වය කියන්නෙත් එක්තරා විටෙක සතුටක් අපි හැමෝම දන්න. හැමෝටම තියෙනවා හැංගිච්ච සතුටක්. මේ වගේ කතාවක්.

ඉවරයක් නැති වැහි දවසක්. බායගට තෙමුණු හොඳටම තෙමුණු මූණු වෙනදා වගේ ම පේනවා. වෙනදා වගේම එක සීරුවට වැඩ කරලා කරලා ගෙදර දුවන්න කෝච්චියට නගින කොට වෙහෙසකර මූණ නිකංම පේන්නෙ තෙමිච්ච කුකුල්ලුන්ගේ මුහුණු වගේමයි. තැම්බි තැම්බි උදේ කෝච්චියෙ වැඩට ගිහිං තැම්බි තැම්බි හවා ට ගෙදර එනවා. ඒකාකාරී එහෙත් අසිරිමත් ජීවිත.

කෝච්චියේ යන එන ගමන් අහන්න දකින්න ලැබෙන ජීවිත මිනිසුන්ගේ කතා මුහුණු මහ පුදුමාකාරයි.

හරියට වෙලාව නම් මතක නෑ හැබැයි රෑ නවය හමාරක් දහයත් අතර ඇති. කොළඹ කොටුවෙ ඉඳලා පොල්ගහවෙල දක්වා යන මන්දගාමී දුම්රියක්. අර තෙමිච්ච මූණ ඔක්කොම ඒ කෝච්චිය ඇතුලෙ. ඒ යත තෙමිච්ච මූණු අස්සේ වැදගත් විදියට ඇඳ පැළද ගත්ත මූණක් නැග්ගා දෙමටගොඩින් කෝච්චියට.

ඉදගන්න ආසනයක් හොයාගන්න අවස්ථාව තිබ්බත් ඔහු තෝරාගත්තෙ බිම. කණුවක් ළඟට, බෑග් එකේ තිබ්බ ලේන්සුව කුත් එළලමයි ඉඳ ගත්තෙ. ඩොල්කියත් එක්ක ඇහෙන්න පටන් ගත්තා ලස්සන ගීත පෙළක්.

දිය කිඳුරිය සේ සාගරේ - දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලරූ මැවේ.......

එච් ආර් ජෝතිපාල එක්ක ආවා දුර ගම්පහ දක්වා. වෙලාවක් ගියා දැනුනෙවත් නෑ ඒ තරම් මිහිරියි. තෙමිච්ච කුකුළො කිහිප දෙ දෙනෙක් දුරකථන එකට එබීගෙන. තවත් කීප දෙනෙක් පැය ගණනක දුරකථන සංවාදයක. සතුට තියෙන්නේ මහා පුදුමාකාර අන්තයක. ගීතයට කන් තියපු කිහිප දෙනයි අවසානට ඉතුරු උනේ. දුම්රියත් ගම්පහ දුම්රිය නැවතුම ට ආසන්නයි . කීපදෙනෙක් ලහි ලහියේ බහින්න සූදානමින්.

හරි රහට දැන් ඇහෙන්නේ ජෝතිපාලගෙ රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ලදේ. සින්දුව ඉවර වෙනවත් එක්කම කෝච්චියේ හිටිය පුද්ගලයෙක් ගියා අර හරි පුදුම ගායකයා ළඟට. මොකුත් නොකියා ඉඳගෙන හිටපු තැන බිමින් රුපියල් සීයක් තිබ්බා. ඔහු ගේ ගායන හැකියාව අගය කිරීමක් විදිහට.

මෙතෙක් වෙලා ඔහු සිටියේ එක්තරා විදියක ධ්‍යානයක. දැන් ඔහු මනෝ ලෝකෙන් පියවි සිහියට ආවා විය යුතුයි .

"මහත්තයා... මට සල්ල එපා. ඒක මගේ ත්‍රිල් එක. මගේ ත්‍රිල් එකට මම සින්දු කිව්වා. මහත්තයට කරදරයක් උනා නම් මට සමාවෙන්න "

එහෙම කියනවත් එක්කම කෝච්චිය ගම්පහ නැවතුමේ නතර කළා . ඉඳගෙන හිටපු තැනත් ලේන්සුවෙන් පිහදාලා බැහැලා ගියා. අසීමිත සතුටක් විඳින ඒ අරුම පුදුම පුද්ගලයා බැහැලා යනවා කෝච්චියෙන් ජනේලෙන් එලයට ඔලුව දාලා බැලුවා. ඒත් ඔහු ඒ වෙනකොටත් පේනතෙක් මානයක හිටියේ නෑ.

මා වේයන්ගොඩින් බහින තුරු ඔහුගේ ගීත කෝච්චිය පුරාම රැව් දුන්නා. ඉඳහිට රෑ වෙලා ගෙදර එන හැමදාම තාමත් මම ඒ කෝච්චියේ මනුස්සයා හොයනවා.