author
Written by:

Rebeka Mendis

3 min read

1/3/2021


විවෘත ආර්ථික සාපය

author

1/3/2021

|

3 min read


writer's eye

"විවෘත ආර්ථිකයත් සමග අප රට මුහුණ දුන් ආර්ථික හා සාමාජීයය වෙනස්කම් පිළිබද විවරණයකි."

"ලංකාව කහ ආනයනය නතර කිරීමෙන් පසුගිය මාස දෙකට පමණක් තමිල්නාඩු ගොවීන්ට කෝටි පනහක පාඩුවක්." ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. පසුගිය කොරෝනා සමයේ කහ බෝගයේ වටිනාකම අපට ඉතා විශාල ලෙස දැනෙන්නට වුණා. ඊට හේතුව නම් අප රට තුළ කහ සදහා තිබු ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට රජයට නොහැකි වීමයි. භීෂණ සමයේ මුලු ලෝකයම තම රාජ්‍යයන්හි දොරගුළු වසා අගුලු ලා ගනිද්දි අපිටත් සිදුවුණා අපේ රටෙත් දොරගුළු වසාගන්න. නමුත් ලොව බොහෝ රටවල් සේම අපද විවෘත ආර්ථික ක්‍රියාවලියක් පවත්වාගෙන යන රාජ්‍යයක් නිසා රටේ දොරගුළු වසා ජීවත්විය හැකිද යන්න ප්‍රශ්නයක්. 1977 දී ජූනියස් රිචඩ් ජයවර්ධනයන් විසින් අප රටට හදුන්වාදුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමග අපේ ජීවන රටාව විශාල පරිවර්තනයකට භාජනය වුණා. එහි බලපෑම කොතෙක්ද කිවහොත් අද වන විට මයිසූර් පරිප්පු නොඉදෙන ගෙයක් අප රටෙහි නොමති තරම්. එදා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හදුන්වාදීමට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අපේක්ෂාව වුයේ ශ්‍රි ලංකාව ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත් කිරීමයි.නමුදු එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එදා එතුමියට හැකියාව ලැබුනේ නෑ. ඉන්පසුව අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැදින්වු ශ්‍රි ලංකා ද්වීපය ලෝකයත් සමග භාණ්ඩ හුවමාරු කිරීමේ යෝධ ක්‍රියාවලියට තම සාමාජිකත්වය ලබා දෙමින් අපේ රට වෙනස්ම මාර්ගයකට රැගෙන යන ලදී.මෙම සංක්‍රාන්තික සමයේ සිදුවූ විශාලතම පෙරළියක් ලෙස බහුජාතික සමාගම්හි හිස පෙවීම දැක්විය හැකිය.එතැන් පටන් අපේ මේ මුතු ඇටය අමුතු ඇටයක් බවට පෙරළීමට පටන් ගත්තා.

අපේ මිනිසුන් යොදා අපේ ශ්‍රමය වැය කොට විශාල පිරිවැයක් දරමින් කරන නිශ්පාදනයන්ට වඩා එම නිශ්පාදන ලොකේ කොහේ හෝ රටකින් ආනයනය කිරීම පහසු බව අපේ මිනිසුන් සිතීමත් සමග දේශීය නිර්මාණ බිහිවීමේ ප්‍රවණතාව අඩු වෙනවා. නව නිර්මාණයන් බිහි නොකරන නිසාම අපේ නිර්මාණ ශක්තිය හීන වීමට පටන් ගන්නවා. මේඩ් ඉන් චයිනා සන්නාමය ඇබ්බැහියක් බවට පත් වෙනවා. මැටි කළෙන් අරන් පිරිසුදු වතුර බීපු අපි ප්ලාස්ටික් කෝප්පයට සංක්‍රමණය වෙනවා. විවෘත ආර්ථිකයත් සමග ප්ලාස්ටික් සංස්කෘතියක් රට තුළ නිර්මාණය වෙනවා. මිනිරන් ආකර තිබෙන භූමියක් දරුවන්ගේ පැන්සල පවා පිටරටින් ආනයනය කිරීමට පෙළඹෙනවා. කපු රෙදි පසෙකලා විදේශ රෙදිපිළිවලින් අපි සැරසෙනවා. දේශීය ඖෂධ පසෙකලා ඉංග්‍රීසී ඖෂධ මාෆියාවෙ සිරකරුවන් බවට පත් වෙනවා. අතීතයේ අපි මහා වැව්,දාගැබ් තැනු තාක්ශණය අපිටත් හොරා අපේ මතකයන් ගිලිහී යනවා. අපේ නිර්මාණ ,අපේ සංස්කෘතිය ,අපේ කම සුපිරි වෙළදසැල්වල සංචාරකයන්ගේ සිහිවටන සදහා පමණක් සීමා වෙද්දි අපේ අනාගතය මහරගම අපේක්ෂා රෝහලේ අවසන් හුස්ම පොද වෙනුවෙන් මේ මොහොතෙත් සටන් වදිනවා. ඉතින් ඉන්දියාවෙන් කහ ආනයනය කිරීමට නොහැකි වූ කාලේ අපි අපේම බිමේ කහ වැව්වා. අද ඵලදාව අපව පෝෂණය කරනවා. ඉතින් ඉතිරිය ඔබට බාරයි.