"ආදරේ විතරක්ම කරනකොට අපිට සමහර දේවල් මග ඇරෙනවා. ඒකයි සාමාන්‍ය ස්වභාවය. ආදරෙයි ජීවිතෙයි හරි හරියට බැලන්ස් කරගෙන යනඑකයි වටිනාකම."
අද මං වෙනදට වඩා ටිකක් කලින් ගෙදර යන්නේ. කොටුවෙන් 1.15ට අද්දන වව්නියා train එකේ. වාසනාවට ඉඳගන්න හම්බ උනා
මට ඉස්සරහින් ඉන්නේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි. පෙනුමෙන් මට වඩා බාල පාටයි. සමහර විට අවුරුදු විස්සක් විතර ඇති. දෙන්නා හිටියෙ හරි ආදරෙන්. හොරෙන් බැළුවා. අත්වල මුදු.
ජනාධිපතිතුමා තහනම් කළා කියලා ආරංචි වුණත් තාමත් කෝච්චිය කිහිප දෙනෙක් කඩල විකුණන අය යනවා. මගේ පුංචි පුරුද්දක් තියෙනවා රුපියල් 20ක කඩල මුලක් කන. පුරුද්දට කඩල එකකුත් අරගත්තා. කඩල ගහන්න වෙලාවෙ කෙල්ලයි කොල්ලයිත් අරගත්තා කඩල. මුල් දෙකක් නෙමෙයි ගත්තේ එකයි.
මොන දුක සැප ආවාත් ඒ ඕනම දෙයක් දෙන්නම එකට බෙදා ගන්නවා වගේ හැඟීමක් තමයි මට එතකොට දැනුනේ. කෝච්චිය යනවා. අපි කඩල කනවා. ඒ අතරේ වතුර බෝතල් විකුණන එක්කෙනෙක් යනවා.
"අයියේ වතුර එකක් කීයද?" ඉස්සරහින් කටහඩ ඇහුනේ.
"සීයයි" පිළිතුරු ලැබුනේ එහෙමයි.
"පොඩි බෝතල් නැද්ද"
"නෑ" කියාගෙන වතුර විකුනන පුද්ගලයා යන්න ගියා.
ඉස්සරහා හිටපු කොල්ලා නිහඩ වෙලා. ඈත ආකහ දිහා සෑහෙන වෙලාවක් බලන් හිටියා. ඒ අතරේ කෝච්චිය ගමන ආරම්භ කරලා. මං හිතන්වේ ඒ වෙලාවේ අර කොල්ලා හිස් අවකාශයේ වෙන කොහේ හරි ගියා. යන ගමනට අමතර ගමනක්.
හරියටම දෙමටගොඩදි කොල්ලා කතා කරනවා ඇහුණා. මහල් නිවාස සංකීර්ණය දිහා බලාගෙන.
"හරියට ඉගෙන ගත්තනම් ඕනතරම් සල්ලි හම්බ කරන්න තිබ්බා. "
කෙල්ල අහිංසක විදියට කොල්ලගේ මූන දිහා බලලා හිනා උනා. ආයෙත් ටික වෙලාවකින් දෙන්නා ආදරෙන් යනවා. කොහේදෝ යනවා .