author
Written by:

Team Lihini

3 min read

12/21/2020


රෑ අහසේ දඩයක්කාරයා “ඔරායන්"

author

12/21/2020

|

3 min read


space and science

"නොවැම්බරයේ සිට මාර්තු දක්වා ඔරායන් රාශිය අහසේ පෙනෙන අතර මෙම රාශිය ආශ්‍රිතව තාරකා, නීහාරිකා වැනි ආකාශ වස්තූන්, බහුවිධ තාරකා පද්ධතිත් ඇති බව ඔබට නිරීක්ෂණය කළ හැකි ය."

රෑ අහස යනු ඉතා අලංකාර වූත් විචිත්‍ර වූත් ස්ථානයකි. ග්‍රහලෝක සහ විවිධ වර්ණ වලින් යුතු තාරකා වලින් මෙන්ම නීහාරිකා, චක්‍රාවාට වැනි අන්නේකවිධ විචිත්‍රවත් ගැඹුරු ආකාශ වස්තූන්ගෙන්ද එය සමන්විතයි. එනමුත් මෙවැනි ආකාශ වස්තූන් නිවැරදිව හදුනා ගැනීමට බොහෝ දෙනා සමත් නොවේ. පැහැදිලි අවබෝධයකින් යුක්තව රාත්‍රී අහස නිරීක්ෂණය කළහොත් ඔබටත් හැකි වේවි එවන් ආකාශ වස්තූන් නිවැරදිව හදුනා ගන්න. මෙම ලිපියෙන් පැහැදිලි කරන්නට අප බලාපොරොත්තු වන්නේ රෑ අහසේ නිතරම වාගේ දකිනා වූ ඔරායන් රාශිය ආශ්‍රිතව ඔබට නිරීක්ෂණය කළ හැකි ගැඹුරු ආකාශ වස්තූන් පිළිබදවයි.

නොවැම්බරයේ සිට මාර්ත දක්වා කාලය තුළ ඔරායන් හෙවත් දඩයක්කාරයා රාශිය අහසේ පැහැදිලිව පෙනේ. පෙබරවාරි මුල රෑ අටට පමණ අහසේ මුදුන් වී හොදින් පෙනෙන මෙම රාශිය සතුව පියවි ඇසට පෙනෙන තාරකා රාශියක්ම ඇත. ඒවා අතරින් දීප්තිමත්ම තාරකාව වන්නේ බීටජූස්ය (Betelgeuse). පෘතුවියේ සිට ආලෝක වර්ෂ 500 ක් පමණ ඈතින් මෙම තාරකාව පිහිටා ඇත. ඊළගට දීප්තිමත්ම තාරකාව වන්නේ දකුණු පස පිහිටා ඇති ගල් (Rigel) නම් තාරකාව යි. ඔරායන් රාශිය පිහිටන්නේ හරියටම අහසේ සමකයේය. ප්‍රමාණයෙන් 26 වන විශාලතම තාරකා රාශිය වන ඔරායන් වඩාත් ප්‍රචලිත වන්නේ ග්‍රීක මිත්‍යා කථා නිසාය. එය දඩයක්කරුවකු නිරූපණය කරන අතර ඔහුගේ දකුණු අතේ පළිහක් සහ වම් අතෙහි කඩුවක් දැකිය හැකිය. ඒ අනුව එක් අතකින් පළිහක්ද, අනෙක් අතින් මුගුරක්ද ගත් දඩයක්කරුවකු තමා ඉදිරියෙන් සිටින වෘෂභයාට පහර දීමට සැරසී සිටින ආකාරයක් මෙම ඔරායන් රාශියෙන් පිළිබිඹු වේ.

දීප්තිමත් තාරකා

ඔරායන් රාශියේ පොළොවට පෙනෙන දීප්තිමත් තාරකා හතකි. ඉන් තාරකා දෙකක් දඩයක්කරුගේ උරහිසේ”, තුනක් බද පටියේද, අනෙක් තාරකා දෙක පා දෙකේද දැකිය හැකිය. මෙම තාරුකා හැරුණු විට එතරම් දීප්තිමත් නොමැති තාරකා රැසක්ම ඔරායන් රාශියේ ඇත. දඩයක්කරුගේ වම් උරහිසේ ඇත්තේ මෙහි පෙර සදහන් කරන ලද බීටජූස් නම් රක්ත වණ තාරකාව යි. ඊළගට දීප්තිමත්ම තාරකාව වන නිල් වර්ණයෙන් යුතු රූල් දැකිය හැක්කේ ඔහුගේ දකුණු විලුඹේය. දකුණු උරහිසේ දැකිය හැකි බෙලාට්‍රික්ස් (Bellatrix) තෙවනුවට දීප්තිමත්ම තාරකාවයි.


ඔරායන් හෙවත් දඩයක්කාරයා. source: thediscreetwitch.blogspot.com
ඔරායන් හෙවත් දඩයක්කාරයා. sourcec: www.freepik.com

ඔරායන්ගේ බද පටියේ ඇති තාරකා තුන පිළිවලින් මින්ටකා(Mintaka), අල්නිලම් (Alnilam) සහ අල්නිටක් (Alnitak) නමින් හදුන්වනු ලබයි.

ප්‍රධාන තාරකා හතෙන් දීප්තියෙන් අඩුම තාරකාව වන සයිප් (Saiph) ඇත්තේ ඔහුගේ වමි විලුඹේය.මෙම තාරකා වලට අමතරව නීහාරිකා සහ බහුවිධ තාරකා පද්ධති වැනි දෑද, ඔරායන් රාශිය ආශ්‍රිතව දැක ගත හැකිය. මේවා නිරික්ෂණය කිරීමට වායුගෝලීය දූෂණයෙන් තොර අඳුරු වටපිටාවක් තිබීම අතිශය වැදගත්ය.

නීහාරිකා (Nebulae)

දඩයක්කරුගේ කඩුව නිරූපණය වන ප්‍රදේශයේ ඇති තරු තුනෙන් මැද තරුව දෙස හොදින් අවධානය යොමු කළහොත් ඔබට පෙන්වී බොදවී ගිය තරුවක් වැනි යමක්. මෙය ඔබට පියවි ඇසින් නිරීක්ෂණය කළ විටද දැකිය හැකියි. නමුත් ඔබ මේ දෙස දුරේක්ෂයකින් නිරීක්ෂණය කළහොත් හැඩයක් නොමැති දූලි වළාවක් ලෙස දැකිය හැක. නීහාරිකාවක් වන මෙය ඔරායන් නීහාරිකාව. (Orion nebula) ලෙස හැදින්වේ.


ඔරායන් රාශිය source: milkywayphotographers.com/constellations/2018/12/02/orion-the-hunter-king-of-the-winter-sky/)

ඉතා ප්‍රබල විශාලනයක් සහිත දුරේක්ෂයකින් නිරීක්ෂණය කළහොත් එය කොටස් දෙකක් ලෙස ඇති බව ඔබට නිරීක්ෂණය කළ හැකිය. මේවා M42 සහ M43 ලෙස නම් කර ඇත. 1610 දී පමණ මෙම ඔරායන් නීහාරිකාව ප්‍රථමයෙන්ම දුරදක්නයක් මගින් නිරීක්ෂණය කරන ලද්දේ ගැලීලියෝ ගැලීලි විසිනි. මෙය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1300 ක පමණ දුරිනි. ආලෝක වර්ෂයක් යනු ආලෝක කිරණයක් වසරක කාලයක් තුළ ගමන් කරන දුරයි. එය කිලෝමීටර වලින් 9,500,000,000,000 ක් පමණ වේ. ක්ෂීරපථයේ පිහිටා ඇති මෙම ඔරායන් නීහාරිකාව විසරණය වන නීහාරිකාවක් වේ. විසරණය වන නීහාරිකා නිරන්තරයෙන් විස්ථාරණය වෙමින් පවතින අතර ඒවාට නිශ්චිත සීමා මායිම් නොමැත.


ඔරායන් නිහාරිකාව source : skyandtelescope.org

රාත්‍රි අහසේ දැකිය හැකි ඉතා අලංකාර ආකාශ වස්තූන්ගෙන් ප්‍රධානම දෙයක් තමයි මේ නීහාරිකා කියන්නේ. ඒ අතරිනුත් මෙම ඔරායන් නීහාරිකා සුවිශේෂි වේ. දූලි වලා ලෙස පෙනෙන මෙම නීහාරිකා විවිධ වර්ග ඇති අතර ඉන් ඇතැම් නීහාරිකා තාරකා බිහිවන ස්ථානයන් ය. එම නීහාරිකා වල බහුතරයක් ඇත්තේ හයිඩ්‍රජන් සහ හීලියම් යන වායූන්ය. මෙම නීහාරිකා වල ඇති වායුන් තැනින් තැන කැටිවී ළදරු තාරකා බිහිකරයි. ඒ අනුව ඔරායන් නීහාරිකාව නව තාරකා බිහිවන ස්ථානයකට හොද උදාහරණයක්ය. මෙම නීහාරිකාව නිරික්ෂණයේදී විද්‍යාඥයින්ට විවිධ අවධීන්හි ඇති තාරකා හත්සිය ගණනක් පමණ එහි ඇති බව දැක ගන්නට ලැබී ඇත.


හබල් දුරේක්ෂය විසින් ගන්නා ලද, බිහිවෙන නව තාරකා සහිත ඔරායන් නීහාරිකාවේ ඡායාරූපයක්. source: www.wikiwand.com

විවිධ අවස්ථාවන්හී දි ගන්නා ලද ඔරායන් නීහාරිකාවේ ඡායාරූප එකතුවක් පහතින් දැක්වේ.


ඔරියන් නිහාරිකාව (M42) සහ රනිං මෑන් නිහාරිකාව (Sh2-279) හි RGB රූපය 5 "අපෝක්‍රොමැටික් පරාවර්තකයක් සහ DSLR" සමඟ ගෙන ඇත. source: wikipedia.org
M42, M43, ධාවන මිනිසා නිහාරිකාව (NGC 1973, 1975, සහ 1977) ඇතුළු ඔරියන් නිහාරිකා සංකීර්ණය සහ අවට ඇති බොහෝ නිහාරිකා. source: wikipedia.org
අඟල් 8 නිව්ටෝනියානු දුරේක්ෂයක් සහ නිකොන් ඩී 70 කැමරාවක් සහිත අයොනිඩිස් පැනෝස් විසින් ගන්නා ලද ඔරියන් නිහාරිකාවේ පරිදර්ශක රූපය. source: wikipedia.org
ඔරියන් නිහාරිකාව 2.2m ESO / MPG දුරේක්ෂය සමඟ නිරූපණය කර ඇත. source: wikipedia.org
ඔරියන් නිහාරිකාවේ මධ්‍යම කොටස. source: wikipedia.org

බහුවිධ තාරකා පද්ධති

ඔරායන්ගේ කඩුව නිරූපණය කරන තරු තුනෙන් අවසන් තරුව දෙස හොදින් නිරීක්ෂණය කළහොත් ඔබට පෙන්වූ අයෝටා ඔරියෝනිස් (lota Orionis) නැමැති බහුවිධ තාරකා පද්ධතිය. අවම විශාලනයකින් යුතුව වුවද මෙම තාරකා පද්ධතිය ඔබට නිරීක්ෂණය කළ හැකිය. තරු දෙකක් සහිත තාරකා පද්ධති ද්ත්ව හෙවත් දෙබිඩි තාරකා ලෙසද, තාරකා තුනක් හෝ ඊට වඩා වැඩි තාරකා ගණනකින් සමූහයකින් නිර්මිත තාරකා පද්ධති බහු තාරකා පද්ධති ලෙසද හැදින්වේ.


lota Orionis බහුවිධ තාරකා පද්ධතිය source: wikipedia.org

එසේ නම් නැවතත් ඔබ රැ අහස දෙස බලන විටදී මෙම අනේකවිධ ආකාශ වස්තූන් නිරීක්ෂණය කරන්නට අමතක කරන්න එපා. එය ඔබට චමත්කාර අත්දැකීමක් වනු නොවනුමානයි.

Contributed by: Wasitha Athawuda

Read More Articles

card-img

Team Lihini

science and tech

Friday, February 19, 2021